Tuesday, May 20, 2014

Will Wimal Weerawansha leave the Government?

කුජදා සටහන

එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ මහතා එක්වරම රජය විවේචනය කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ පව රජයට එරෙහිව ප්‍රකාශ කිරීම පසුගිය සති දෙකේ සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. ඉන් නොනැවතී රජයට යෝජනා දොළහක් ඉදිරිපත්කිරීමට ඔහු සූදානම් කර ඇති අතර එම යෝජනා ආගමික නායකයන්ටද ප්‍රදානය කිරීමට පසුගියදා සිදුවිය. එමගින් මුළු රටම එම යෝජනා පිළිබඳව දැනුවත් කිරීම ඔහුගේ අරමුණ වී ඇත.
    ප්‍රසිද්ධ වේදිකාවල මෙන්ම මාධ්‍ය ආයතනවල වැඩසටහන්වලදීද ඔහුගේ ප්‍රධානතම විවේචනාත්මක ඉලක්කය වී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී.ජයසුන්දරය. “ආර්ථික ඝාතකයා“ යන අනුවර්ථ නාමය භාවිතා කරමින් විමල් අමාත්‍යවරයා පී.බී ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර ඇත. විමල් අමාත්‍යවරයා පවසන අකාරයට පී.බී ලංකාවේ ආර්ථිකය “හයි-ජැක්“ කර ඇත. තාර්කිකව එය සනාථ කල හැකි කරුණු ඔහු විසින් ඉදිරිපත් කරමින්ද සිටි.

    කෙසේ වෙතත් ඇතැම් පාර්ශව පවසන්නේ විමල් මේ සිදුකරන්නේ එක්තරා ආකාරයක රඟපෑමක් බවයි. පසුගිය මැතිවරණවලදී ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද පදනම දැඩි ලෙස බිඳවැටී ඇති හෙයින් රජයේ අනුග්‍රහයද සහිතව මෙය සිදුකරන බවයි. මෙයින් විමල්ගේ අරමුණ මෙන්ම රජයේ අරමුණ වන තමන්ට විරුද්ධ මතවාදීන්ගේ ඡන්ද වලින් කොටසක්ද විමල් හරහා නැවත රජයේ ගිණුමටම බැර කරගැනීම රජයේ අරමුණවී ඇතැයි සඳහන් වේ.
    රජය තුල සිටම රජය විවේචනය කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින අනිත් චරිතය වන්නේ ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය. මේ දෙදෙනාම කැසිනෝ සම්බන්ධ පනතට එරෙහිව මත දක්වන්නෝය. මේ කාරණ සියල්ල සලකා බලද්දී විමල් රජයෙන් ඉවත් වෙයිදෝ යන මතය කසු කුසුවක් ලෙස රටතුල සංසරණය වෙමින් පවතී. එහෙමත් ඔහු කියා තිබුණේ රජය තුල සිට සටන් කරනවා මිස රජයෙන් ඉවත්ව නොයන බවයි. එසේම විවේචන හමුවේ ඔහුට එරෙහිව විනයානුකූල හෝ පියවරක් රජය නොගැනීම තුල මේ සිදුවීම පිළිබඳ සාධාරණ සැකයක්ද පැන නගී. ඒ අතර තුරම විමල් සහ චම්පික යන දෙදෙනාම ජනාධිපති ප්‍රමුඛ රජය මාතරදී පැවැත්වූ විජයග්‍රහණයේ පස්වෙනි සැමරුම මගහැර ස්වාධීනව අගනගරයේ සැමරුම් පැවැත්වීම ද මතභේදයට තුඩුදුන් කරුණක් විය. කෙසේ වෙතත් පෙනෙන්නට ඇත්තේ විමල්ගේ ක්‍රියාවලිය තුල රඟපෑමකට වඩා යමක් ඇතිබවය. වෙනදා විමල්ගේ උපවාස රඟපෑම් කරන විදියෙන්ම අහුවෙන බොරු  බවට පත්වූවත් මෙදා ඔහුගේ ක්‍රියා පෙලගැස්ම තුල ව්‍යූහාත්මක වශයෙන් වෙනසක් ඇත. සැබවින්ම ඒ තුලින් රජය වෙනස්වේවිද, නැත්නම් විමල්ට රජයෙන් යන්නට වේවිද යන්න ගැටළුවකි. නමුත් මේ රජය මෙවැනි ප්‍රසිද්ධ චරිත තමන්ට එරෙහිවන විට කපා දමන්නේ නැත ජනතාව ඉදිරිපිට ඉබේ කැපෙන ලෙස වැඩකිරීම පමණක් සිදුකරනු ඇත. විමල්ට ඒ වෙනුවෙන් සූදානමින් සිටින්නට වෙන බව සැකයක් නැත.

- කුජදා සටහන (20000v)

No comments:

Post a Comment